Monday, February 25, 2013

විමසුම-උගත් තරුණ පිරිස් රැකියා සඳහා රට හැරයාම පිළිබඳව බොහෝ දෙනා කනස්සල්ල පළකර තිබේ.
“බුද්ධි ගලනය” වශයෙන් පොදුවේ හැඳින්වෙන මෙම ක්‍රියාවලියට එරෙහි තර්ක ආර්ථික සහ ආර්ථික නොවන හේතු මත ගොඩ නගා තිබේ.
ආර්ථික තර්ක
බුද්ධි ගලනයට එරෙහිව නගා ඇති ආර්ථික තර්ක පහත ස්වරූපය ගනී.
උගත් තරුණ කොටස් රටේ ධන නිෂ්පාදනයේ බල කනු වේ. ඔවුන් විදේශ රැකියා සඳහා මව් රටින් පිටව යෑම නිසා, මව් රටේ ආර්ථික වර්ධනය ඇනහිටවමින් ඔවුන් සතු කුසලතා රටට අහිමි වී යයි.
මේ නිසා, ඔවුනට ඉගෙනීම සඳහා සියළු විය පැහැදම් දැරූ රට වෙනුවට, වෙනත් විදේශ රටක් අහක සිට ප්‍රතිලාභ ලබාගනී.
අර්ථ ශාස්ත්‍රඥයින් මෙම ක්‍රියාව හඳුන්වන්නේ, ‘පිනට කෑම’ හෙවත් නොමිලයේ ගමන්කිරීම (free riding) වශයෙනි.
දුගී රටවල් දුගීව සිටින්නේ ඔවුන්ගේ එම සේවය එම රටවලට නොලැබී ගොස් ඇති නිසාය. එබැවින්, ඔවුන්ගේ කුසලතා යොදාගනිමින් අපනයනය සඳහා භාණ්ඩ නිපදවිය හැකි සමාගම් වලට ඒවා නිපදවීම කළ නොහැකිවේ.
ඔවුන්ව සේවයට යොදා ගැනීම මගින් තම කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට අපේක්ෂා කළ රජයන්ට එසේ කිරීමට නොහැකිවේ. සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ හිඟය නිසා රජයේ සහ පෞද්ගලික යන දෙඅංශයේම රෝහල් වලට තම රෝගීන්ට ප්‍රතිකාර කළ නොහැකිවේ. ඉංජිනේරුවන් හිඟ වීම නිසා, ඉංජිනේරු සමාගම් වලට දැවන්ත ගොඩනැගිලි තැනීම කළ නොහැකිවේ.
ගුරුවරුන් හිඟවීම නිසා පාසැල්වල වැදගත් විෂයන් වන ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයයන් ඉගැන්වීමට නොහැකිවේ. මේ ආකාරයට බුද්ධි ගලනය සමස්ත ආර්ථික ජීවිතයටම අහිතකර ලෙස බලපා, රටේ ආර්ථිකයට වර්ධනය වීමට ඇති ප්‍රස්ථා අහිමි කරවන බව තර්ක කෙරේ.
ආර්ථික නොවන තර්ක
බුද්ධි ගලනයට එරෙහිව නගා ඇති ආර්ථික නොවන තර්ක පදනම් වනුයේ දේශ මාමක සහ සමාජමය කරුණු මතය.
දේශ මාමක තර්කය පහත සඳහන් කරුණු මත ගොඩනගා තිබේ.
නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ අධික වියදමක් දරා ජාතිය විසින් දේශයේ තරුණ කොටස්වලට උගන්වා තිබේ. මේ නිසා, මේ කොටස රට තුළ සේවය කිරීම මගින් තම ණය දේශයට ආපසු ගෙවිය යුතුය. එබැවින්, තමන්ට ඉගැන්වූ රට අමතක කර වෙනත් විදේශ රටකට සේවය කිරීම ජාති ද්‍රෝහී ක්‍රියාවකි.
එයට අමතරව, දියුණු රටවල් කරනුයේ, මෙසේ විදේශ ගතවන උගතුන් යොදාගෙන අපනයන භාණ්ඩ නිපදවා වැඩි මිලට එම භාණ්ඩ නැවත වරක් දුප්පත් රටවලට විකිණීමයි. මේ අනුව, දියුණු රටවල් අවස්ථා දෙකකදී දුප්පත් රටවල් සූරා කයි. පළමුවන අවස්ථාව වනුයේ, දුප්පත් රටවල කුසලතා ඇති ශ්‍රමිකයන් සොරා ගැනීමයි. දෙවන අවස්ථාව වනුයේ, එම ශ්‍රමිකයන්ම යොදාගෙන නිපදවනු ලබන භාණ්ඩ වැඩි මිලට දුප්පත් රටවලටම විකිණීමයි.
සමාජමය හේතු වශයෙන් ගොඩනගා ඇත්තේ මෙයට වඩා වෙනස් තර්කයකි.
එම තර්කයට අනුව, තම රට අතහැර දියුණු රටවලට යන උගතුන්ට එම රටවලදී නියම තැන දෙනු නොලැබේ. ඔවුන් බොහෝ දෙනකුට, තම සුදුසුකම් හෝ කුසලතාවලට කිසිම සම්බන්ධයක් නොමැති රැකියා කිරීමට සිදුවනු ඇත.
තම වෘත්තීයමය ජීවිතය ගොඩ නඟා ගැනීමේ මුල් අවධියේදී ස්නායු ශල්‍යවෛද්‍යවරුන්ට ටැක්සි රියදුරන් ලෙස වැඩ කිරීමට සිදුවීම බොහෝවිට සඳහන් කරන නිදසුනකි. මෙය මෙකී උගතුන්ට තම රටේදී කිසි විටකත් මුහුණ දීමට සිදුනොවන අභාග්‍යයකි. එවැනි සිදුවීම් සුලභ වන අතර ඒවා දුප්පත් රටවල සිට දියුණු රටවල සේවය සඳහා යන ශ්‍රමිකයන්ට දියුණු රටවල් විසින් සිදු කරනු ලබන කුඩම්මාගේ සැලකිල්ල පිළිබඳ නියම තත්ත්වය විදහා පෑමක් ලෙස සැලකේ.
මේ තර්ක පදනම් කරගෙන ඇතමුන් යෝජනා කර ඇත්තේ රජය මැදිහත්වී උගතුන්ට රට හැර යාම තහනම් කළ යුතු බවයි.
දේශ ද්‍රෝහී තර්කයේ වලංගුභාවය
දේශ ද්‍රෝහී තර්කය එකිනෙකට සම්බන්ධ දුර්මත දෙකක් මත ඉදිරිපත් කර තිබේ.
ඉන් පළමුවැන්න මෙසේ ඉදිරිපත් කර තිබේ.
යමකුට තම රටට සේවය කළ හැක්කේ එම රට තුළ පදිංචිවී රැකියාව කිරීම මගින් පමණි. දෙවැන්න වනුයේ, තම රට තුළ පවා, රජයට හෝ දේශීය ව්‍යවසායකුට අයත් ආයතනයක සේවය කිරීම මගින් පමණි.
මේ අනුව, වෙනත් ඕනෑම ආකාරයකට ජීවිකාව උපයා ගැනීම දේශ ද්‍රෝහී ක්‍රියාවකි.
මෙම තර්කය සත්‍ය වනුයේ යම් භාණ්ඩයකට අයත් සියළුම නිෂ්පාදන අවස්ථා එක් රටක් තුළ පමණක් සම්පූර්ණ කෙරෙනවා නම් පමණි.
නමුත් අද නිෂ්පාදන සිදු කරණුයේ ‘ගෝලීය කම්හල්’ වශයෙන් හැඳින්වෙන නිෂ්පාදන ක්‍රියාවලිය තුළය. මෙම කම්හල් සිදු කරනුයේ විවිධ රටවලින් අත්පත් කර ගන්නා උපාංග කම්හල් භූමිය තුළදී එකලස් කිරීම පමණි. එම නිසා, වත්මනදී භාණ්ඩයක් එක් රටකට පමණක් අයත් සේ නොසැලකේ. භාණ්ඩයක් නිපදවීම සඳහා බොහෝ රටවල් එකතුවන බැවින්, ‘අසවල් රටේ නිෂ්පාදනය කරන ලදී’ වශයෙන් ලේබල් ගැසීමට සත්‍ය වශයෙන් නොහැකිවේ.
උදාහරනයක් වශයෙන් ‘ශ්‍රී ලංකාවේ නිපදවන ලදී’ යනුවෙන් ලේබල් කරන ලද කමීසයක් ගනිමු. එම කමීසය ශ්‍රී ලංකාවට තනිව අයත්වන නිපයුමක් නොවේ. ඒ සඳහා රෙදි චීනයෙනුත්, බොත්තම් ඉන්දියාවෙනුත්, නූල් මලයාසියාවෙනුත්, මෝස්තරය ප්‍රංශයෙනුත්, මහන මැෂිම් ජපානයෙනුත්, මැෂිම දිවවීම සඳහා අවශ්‍ය විදුලිය නිපදවීමට යෙදවූ ඉන්ධන ඉරානයෙනුත් ආදී වශයෙන් විවිධ රටවල උපාංග යොදා ගෙන තිබේ. ශ්‍රී ලංකාවට අයත් වනුයේ, අර්ථ ශාස්ත්‍රඥයන් විසින් එකතුකළ අගය වශයෙන් නම් කරණු ලබන, වැටුප්, පොළී, ලාභ සහ බදුකුලී යන ගෙවුම් පමණි. එය, කමීසයේ මුළු වටිනාකමින් එක් කොටසක් පමණි.
ශ්‍රී ලංකාවේ නිපදවන සහල් මුළු මනින්ම ශ්‍රී ලංකාවට අයත් වේ ද? ජනප්‍රිය මතය වනුයේ ‘ඔව්’ යනුයි. එහෙත් සත්‍ය වනුයේ අනිකකි.
සහල් වලින් ශ්‍රී ලංකාවට අයත් වනුයේ, ගොවීන්ගේ ශ්‍රමය, යොදාගත් ඉඩම්, ජලය, බිත්තර වී ආදියෙහි අගය, අතර මැදියන් වන මෝල් හිමියන්, තොග සහ සිල්ලර වෙළන්දන් ආදීන්ගේ සේවාවන් පමණි. මෙයට අමතරව, සහල් නිෂ්පාදනයේ දී යොදාගන්නා තවත් යෙදවුම් රාශියක් බොහෝ රටවලින් ලබා ගනී. ඉරානයෙන් පොහොරත්, ජපානයෙන් සහ චීනයෙන් ට්‍රැක්ටර්, ලොරි සහ වී කොටන යන්ත්‍රත්, මැලේසියාවෙන් ඉන්ධනත් සහ ජර්මනියෙන් කෘමිනාශකත් ආදී වශයෙන් බොහෝ රටවලින් ලබාගත් යෙදවුම් ඒ සඳහා භාවිතා කෙරේ. මේ නිසා ශ්‍රී ලංකාවේ නිපදවන සෑම වී ඇටයක්ම බොහෝ රටවල් ගණනාවක් එක්වී නිපදවූ ගෝලීය නිපයුමක් වේ.
මේ නිසා, වත්මන දී නිපදවනු ලබන භාණ්ඩ දේශීය භාණ්ඩ නොව, ගෝලීය භාණ්ඩ වේ.
මින් අදහස් වනුයේ, රටට සේවය කිරීම සඳහා පුද්ගලයකු රට තුළ සේවය කරනවා ද නැතිනම් රටින් පිට සේවය කරනවාද යන්න වැදගත් නොවන බවයි. පුද්ගලයකු නිෂ්පාදන දාමය තුළ සේවය කරනවා නම්, ඔහු සේවය කරන රට හෝ සේවා යෝජකයා කවරකු වුවත්, ඔහු ශ්‍රී ලංකාවට සේවය කළා සේ සැළකිය හැක.
ශ්‍රී ලාංකික උගත් තරුණ කොටස්වලට පිටරට සේවයට යාමට ඉඩදීම පාපයක්ද?
පිටරට සේවය සඳහා යන ශ්‍රී ලාංකික තරුණ කොටස් ශ්‍රී ලංකාවට බොහෝ වාසි ගෙන එති.
පළමුව, ශ්‍රී ලංකාව තම පුළුල්ව පැතිරුනු උසස් අධ්‍යාපන යන්ත්‍රණය මගින් කළමනාකරුවන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් සහ ගණකාධිකරුවන් වැනි වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් වසර පතා බිහි කරයි. මෙම සියළු දෙනාටම ඵලදායී රැකියා සැපයීමට තරම් ප්‍රමාණවත් පරිදි රටේ ආර්ථිකය ප්‍රසාරණය නොවේ. මේ නිසා, සියළුම උප කොටස් අතර උගත් තරුණයන්ගේ රැකී රක්ෂා ප්‍රශ්නය ඉතා බරපතල වේ. ඔවුනට රැකියා නොසැපයුවහොත් ප්‍රතිඵලය වනු ඇත්තේ ඔවුන් සමාජ විරෝධතාකරුවන් වීමත්, ආර්ථික වශයෙන් ඔවුන් සමාජයට බරක් බවට පත් වීමත්ය. එය සාමකාමී සමාජ සහජීවනය කුඩුපට්ටම් කර දැමීමට ඉවහල් වනවා ඇත. එවැනි තත්ත්වයක් යටතේ, තරුණයන් පිටරට රැකියාවලට යැවීම සමාජයේ පැන නගින ආතතිය මුදවා හැරීමට ක්‍රියා කරන (ආරක්ෂක කපාටයක්) (safety valve) වෙනු ඇත.
දෙවනුව, ආර්ථිකයන් කලින් කලට මුහුණදෙන ආර්ථික මට්ටම ඉහළ පහළ යාම නිසා ඇතිවන (කම්පනය උකහා ගන්නා යන්ත්‍රණයක්) (shock absorber) ලෙස විදේශ රැකියා ක්‍රියා කරනු ඇත.
ආර්ථිකයක් ඉහළ මට්ටමකට නගින විට, රැකී රක්ෂා සුලභ වනවා පමණක් නොව, ඒවාට ලැබෙන වැටුප් මට්ටම් ද ඉහළ යයි. එහෙත් ආර්ථිකයක් පහළ බසින විට එහි විරුද්ධ තත්ත්වය ඇතිවේ. එනම්, රැකියා දුලභ වීම සහ වැටුප් මට්ටම් පහත වැටීමයි. මෙවැනි තාවකාලික කම්පනයන්ගෙන් මිදීම සඳහා ඉවහල්වන උපාය මාර්ගයක් ලෙස විදේශ රැකියා වැදගත් වේ.
තෙවනුව, ශ්‍රමය යනු මානව ප්‍රාග්ධනය වේ. වෙනත් ඕනෑම ප්‍රාග්ධන ඒකකයක් මෙන්, මානව ප්‍රාග්ධනයද යල්පැන යෑමට භාජනයවේ. නොකඩවා ඉගෙනීමෙහි නොයෙදෙන සේවකයන්ට නූතන රැකියාවල ඇති සංකීර්ණ ගැටළු විසඳාලීමට නොහැකිවන පරිදි ලෝකයේ දැනුම් සම්භාරය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතී. ඒ සඳහා ඔවුන් අනිවාර්යයෙන්ම අළුතින් ඉගෙන ගැනීම සිදු කළ යුතුවේ. එම ඉගෙනුම දියුණු රටවල සේවකයන්ට නිරායාසයෙන්ම ලැබේ. මේ නිසා, පිටරට සේවයට යාම, ශ්‍රී ලාංකික තරුණයනට අළුතින් විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම හා සමානවේ.
දියුණු රටවල සේවය කළ බොහෝ ඉන්දියානු සහ චීන ජාතිකයන් දැන් ආපසු තම රටවලට පැමිණෙමින් සිටින අතර, ඔවුන් සමග තමන් එම රටවලදී උගත් ශිල්ප ඥානයද ගෙන එමින් සිටිති. එම රටවල සේවකයන්ගේ ගුණාත්මකභාවය ඉහළ දැමීමට එසේ අළුතින් ගෙනෙන තාක්ෂණය ඉවහල් වී තිබේ.
සිව්වෙනුව, පිටරට සේවය කළ තරුණ කොටස් සිය මව් රටට පැමිණීම නිසා, අළුත් ව්‍යාපාර ඇරඹීම සිදුව තිබේ. ඒ සඳහා අවශ්‍ය මුදල් හදල් ද ඔවුහු තම රටට ගෙන එති. දියුණු රටේ දී තමන් ලැබූ පන්නරය යොදවා, ඔවුහු එකී ව්‍යාපාර ජාත්‍යන්තර වෙ‍ළෙඳ පොළ සමග අනුබද්ධ කර තිබේ. එමගින් වැඩෙන ජාත්‍යන්තර වෙළෙඳාමෙන් මහඟු ඵල ලබා ගැනීමට හැකිව තිබේ.
පස්වනුව, උගත් තරුණ කොටස් රැකියා සඳහා පිටරට යෑම මගින්, දේශීය ශ්‍රම වෙළෙඳ පොළේ ඇතිවන අතිරික්ත සැපයුම ඉවත් කෙරේ. එම නිසා, වෙළෙඳ පොළේ ඉතිරිවන පුද්ගලයන්ගේ ආදායම ඉහළ ගොස් ජීවන මට්ටම ද උසස් වේ.
බුද්ධි ඉපයුම
සිය රටේ සිට වෙනත් රටක පදිංචිය සඳහා යන පුද්ගලයින් එම මව් රටේ (ඩයස්පෝරාව) ලෙස හැඳින්වේ. කලක් ගිය පසු, ඔවුන් සිය මව් රට නියෝජනය කරන ශක්තිමත් කණ්ඩායමක් බවට පත්වේ. ඒ පමණක් නොව, ඔවුන් සිය මව් රටට සහය දැක්වීම සඳහා නිරතුරු සැදී පැහැදී සිටින අතර, අවස්ථාවක් එළඹුණහොත් එසේ උදව් කිරීමද කරති. ඉන්දියාව 1990 ගණන්වල මුලදී (ඉන්දියාව ගොඩ නැගීමේ බැඳුම්කර) නිකුත් කළ අවස්ථාවේ දී ඒවායෙහි මූලික වශයෙන් මුදල් යෙදවූවේ ඉන්දීය ඩයස්පෝරාව යි.
මෙයට අමතරව, පිටරට සේවය කරන පුද්ගලයෝ අඛණ්ඩව සිය මව් රටට මුදල් එවති. විදේශ විනිමයෙන් සමන්විත මෙම මුදල් දුප්පත් රටවල ගෙවුම් ශේෂයේ හිඟය පියවීමට උපකාරී වේ. මෙය විශේෂයෙන්ම වැදගත් වනුයේ, අත්‍යවශ්‍ය ආනයන භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇති අවස්ථාවල දී සහ අපනයන මිල ගණන් පහත වැටී ඇති අවස්ථාවලදීය. පසුගිය දශක දෙක තිස්සේ දීම, ශ්‍රී ලංකාව එසේ මුදල් ලබා ගැනීමේ ප්‍රතිලාභියෙක් විය. 2008 වර්ෂයේදී මෙසේ ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 03 ක් පමණ විය. එසේ ලැබුණු මුදල් යොදවා, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ආනයන බිලෙන් හතරෙන් තුනක් පමණ පියවා ගැනීමට හැකි විය.
පිටරට යන සේවකයින් එවන මුදල් බොහෝ රටවල ඉතා වටිනා විදේශ විනිමය සම්පතක් වේ. බංග්ලාදේශය, පකිස්ථානය සහ පිලිපීනය එසේ විශාල වශයෙන් විදේශ මුදල් උපයන රටවල් තුනකි.
යෝධ ජලාශ, සුවිසාල දාගැබ්, සංකීර්ණ වාරික්‍රම, විශ්මයජනක දැවැන්ත ගොඩනැගිලි සහ කලාකාමී ලෙස නෙලූ ප්‍රතිමා ආදිය ගොඩනැගීම සඳහා විදේශීය පුහුණු ශිල්පීන් යොදවා ගැනීම පිළිබඳ නිදසුන්වලින් ශ්‍රී ලංකා ඉතිහාසය පිරී තිබේ. එම කාලයේ දී මෙකී ඉංජිනේරුවරුන්ට සහ කලාකරුවන්ට රත්‍රන් වලින් ගෙවන ලදී. එකී රත්‍රන් රටින් පිටට ගිය සම්පතක් විය. එහෙත් එම ගෙවීම් කිරීමට සිදුවූයේ එවැනි පුහුණු ශිල්පීන්ගේ හිඟතාවයක් තිබුනු නිසාවෙනි. එහෙත් අද දෘෂ්ඨියෙන් බැලුවහොත්, එය ශ්‍රී ලංකාවට ශිල්ප ක්‍රම ලැබීමක් සහ ශිල්පීන් එවූ රටවලට බුද්ධි ඉපයීමක් (brain gain) විය.
මේ නිසා, උගත් තරුණයන්ට පිටරට රැකියාවලට යාමට ඉඩ දීම තවදුරටත් බුද්ධි ගලනයක් (brain drain) නොවේ.
එය ඇත්ත වශයෙන්ම බුද්ධි ඉපයීමක් වන අතර, සෑම දුප්පත් රටක් විසින්ම අනුග්‍රහය දැක්විය යුතු ක්‍රියාවලියක් වේ.
 මෙම ලිපිය ලංකා වියාපාරික විමසුම.com වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලදී.

No comments:

Post a Comment